සිවුරක විරිය
අවවාදයට වඩා ආදර්ශය උතුම් කියන කියමන අපි හැමෝම අහලා තියෙන ශ්රේෂ්ඨ කියමනක්. අපට වචනයෙන් අවවාදයක් දෙන්න ඉතා පහසුයි. ඒත් එය ක්රියාවෙන් සිදුකර ආදර්ශයක් වෙන අය ඉතාම අල්පයි. බොහෝ අය හරියට තම පැටවුන්ට කෙලින් ඇවිදින්න උගන්වන කකුළුවො වගේ. ඉතින් මම අද කතාකරන්න බලාපොරොත්තු වෙන්නෙ ඒ විදිහට අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ක්රියාවෙන් ඔප්පු කරපු බුද්ධ පුත්රයෙක් ගැන. හන්තානේ සඳගිරි සෑය කිව්වම අද නොදන්න කෙනෙක් ඇති කියලා මම හිතන්නෙ නෑ. මොකද අද සමාජ මාධ්ය හරහා විශාල ප්රතිචාර ප්රමාණයක් හිමිවෙච්ච දැවැන්ත ආගමික නිර්මාණයක් ඒක. මෙම සඳගිරි සෑයේ මගපෙන්වන්නා වුනේ පූජ්ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ය. අද මගේ කතාවේ කතානායකයා වන්නේ ද උන් වහන්සේමයි. ධම්මාලෝක හිමියන් කල ඒ උතුම් මෙහෙවරට කෘතගුන දැක්වීම හා ගෞරවනීය ස්තූතිය පුද කිරීමක් වශයෙන් මෙම ලිපිය හා පහත කවිපෙල ලියා තබමි.
කැප වී සසුන වෙත බාධක මැද නේක
අපමණ වෙහෙස වී හිමි ධම්මා ලෝක
කපකට වටින වෙහෙරක් කරවූ සේක
සිංහල රටට දුන්නේ පෙර රජ දාය
පින්බර සිවුරකින් තැනු සඳගිරි සෑය
තුන් සිංහලේ හිටි රජවරු පරදාය
බැන බැන වුවත් වැසියන් වැඩ කර දෙතිය
පින පෙන්නලා හිමි වඩවා හද බැතිය
තැනවූ වෙහෙර වෙනුවෙන් රට ණය ගැතිය
සල්පිල් පිණ්ඩපාතෙන් එය කරනු බැරී
සිල් බිදුනාය ගැරහුම් දුන්නාට නරී
ගල් ගැසුවේම සරු ගස් වලටමය හැරී
මල වුන් අතර සඳමෙනි ගනදුරු රෑක
නිල අල්ලලා හිමියෝ අද වැනි දාක
වැල යන අත බලා මැස්සක් ගැසු සේක
බැඳ අත් බලා හිඳ හිමි නැවතුනෙ නෑනේ
විඳ දෙස් දෙවොල් ගොස් දුප්පත් ගේ ගානේ
අඳ ඇස් පෑදු හැටි පසසන්නම ඕනේ
කට වචනයට සීමා වී හිටියෙ නැතේ
රටටම පෙන්නලා මෙත් කරුණාව හිතේ
මිටි කර පෙන්නුවා සමගිය මුහුණු පොතේ
දරනා සිවුර සමිඳුට තව දිරි දේවා
පුරනා දාන පිරිමේ පින ඵල දේවා
ගරනා මැණික් සේ සසුනේ බැබලේවා
ඔයාලා අහලා ඇති අට මහ කුසල් කියලා බුදු දහමේ උගන්වන පින්කම් අටක් තියෙනවා. වෙහෙර විහාර තැනවීම කියන්නෙත් එම උතුම් පින්කම් වලින් එකක්. ඉතින් මේ මගේ කතානායක ධම්මාලෝක හාමුදුරුවොත් ඒ දේ කරලා රටටම ආදර්ශයක් වුනා. මා දන්නා පරිදි උන් වහන්සේ උපාධිදාරී තරුණ භික්ෂූන් වහන්සේ නමක්. උන්වහන්සේගේ දැක්ම ඉතාමත් පැහැදිලියි. සඳගිරි සෑය හා සඳහිරු සෑය කියන්නෙ සමකාලීනව ශ්රී ලංකාවේ ඉදිවූ වෙහෙර දෙකක්. සඳහිරු සෑය ඉදිවන්නේ පූර්ණ රාජ්ය අනුග්රහය හා ත්රිවිධ හමුදාවේ දායකත්වයෙන්.එහෙත් මේ සඳගිරි සෑයට එවැනි රාජ්ය අනුග්රහයක් ලැබෙන්නේ නෑ. එය සම්පූර්ණයෙන්ම අපේ ධම්මාලෝක හිමියන්ගේ උත්සාහය හා ධෛර්යය මත ඉදිවූවක්. සඳගිරි සෑයේ විශේෂත්වය එයයි.
උන්වහන්සේ ඒ සඳහා විශේෂ උපක්රමයක් යොදා ගන්නවා. ඒ සඳහා උන්වහන්සේ අද වන විට සීග්රයෙන් ව්යාප්ත වන සමාජ මාධ්යයන් යොදාගන්නවා. සුව සමාජ මාධ්යයන් අවභාවිතා වන මෙවැනි යුගයක උන්වහන්සේ සමාජ මාධ්යයන් සමාජ සේවය උදෙසාම යොදාගන්නා ආකාරය ප්රශංසනීයයි. එහිදී උන්වහන්සේ පින් දහම් කිරීමට කැමති පුද්ගලයින් හට විවෘත ආරාධනාවක් සිදුකරනවා. එහි කිසිදු බලපෑම් කිරීමක් නෑ. අද දවසේ කුමන ආකාරයේ ඉදිකිරීමක් සිදුකළද ඒ සඳහා විශාල ධනයක් වැය කරන්නට සිදුවී තිබෙනවා. අපේ රටේ බොහෝ විහාරස්ථානවල මේ බර පැටවෙන්නේ ගමේ දායකයන්ගේ කරමතටයි. එහෙත් මෙහිදී එම ගැටළුවට සාර්ථක විසඳුමක් ලබා දීමට උන්වහන්සේගේ ස්ථානෝචිත ප්රඥාවට හැකි වෙලා තියෙනවා. එතනින් නොනැවතී උන්වහන්සේ නිවාස අහිමි පවුල් සඳහා නිවාස සාදා දීමේ ව්යාපෘතියක් සිදුකරගෙන යනවා. ඉතින් ශ්රී ලාංකිකයන් වශයෙන් අපි උන්වහන්සේගේ මෙම දැක්ම අගය කළ යුතුමයි.
උන්වහන්සේගේ මේ වැඩපිළිවෙළ නොරුස්සන පිරිසකුත් අතරින් පතර සිටිනවා. ඔවුන් කුමන චේතනාවෙන් විවේචන සිදු කරත් එය නොකළ යුතු දෙයක් කියලමයි මට හිතෙන්නේ. මොකද අපිට දෙයක් සමාජයට කරන්න බැරි නම් එය සිදුකරන පුද්ගලයින්ට වචනයකින්වත් බාධාවක් නොවිය යුතුයි. පිදුරු තමාට අනුභව කළ නොහැකි නම් කන ගොනෙකුට හෝ දිය යුතුයි. අවසාන වශයෙන් උන්වහන්සේගේ මෙම නිවැරදි දැක්මට හදවතින්ම සුබ පතමි. තවත් ඔබ වැනි බුද්ධ පුත්රයින් මේ දෙරණේ පහළ වේවා. ඔබ වහන්සේ බුදු සසුනේ චිරාත් කාලයක් වැජඹේවා.
ඉතාමත් වටිනා ලිපියක් සහෝදරයා.. ඇත්තටම අපිට මනරම් ඉතිහාසයක් තිබෙනවා. ඉතිහාසයේ මෙන්ම වෙර වීරිය ඇතිව වැඩකරන අය දැනටත් ඉන්නවා කියලා ඔයාගෙ මේ කතාවෙන් පිලිඹිබු වෙනවා. ඔයාට සුභ පතනවා සහෝදරයා..