ගිං ගඟ ඇවිත් නෑගම් අපි බලන්නට
කොහොමද යාලුවනේ. කාලෙකට පස්සෙ ආවා කවියක් අරගෙන. පහුගිය දවස් වල ලංකාව විශාල ගංවතුර හා නායයෑම් තර්ජනයකට මුහුන දුන්නා. විශේෂයෙන්ම දකුනු පලාත. මාතරින් නිල්වලා ගඟත්, ගාල්ලෙන් ගිං ගඟත් එකතු වෙලා ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කලා. ඒ හපන් කම් නිසා විශාල පිරිසක් අවතැන් වුනා. ඒ හින්දම ඒ ගැන කවි කිහිපයක් ලියන්න හිතුවා.
අවුරුදු 25ක් විතර ගිංගඟේ අතවරයට ලක්වෙච්ච මට නම් ඒක අලුත් අත්දැකීමක් නෙවේ. මොකද මගේ ගෙදර තියෙන්නේ බද්දේගමට කිට්ටුව ගං ඉවුරේ නිසා. අවුරුද්දකට සැරයක් සුලු හෝ ගංවතුර තත්වයකට මුහුන දෙන්න අපට සිදුවෙනවා. සුපුරුදු පරිදි මේ පාරත් ගිංගඟ අපිව බලන්න නෑගම් ආවා. ඒක හරිම අමිහිරි අත්දැකීමක්.
ගොන්ගල අහස හඬනා වැහි කඳුලු කැට
එක එක අහුලගෙන ලයටම තුරුළු කොට
බඩ වැටි සානු පල්ලම් හැම ඇසුරු කොට
ගිං ගඟ දීග යනවා ගිං තොටින් පිට
පල්ලම් බසී බත් දුන් ගම කනේ තියන්
නොසිඳුනු ගඟට දන්නා කාලෙකදි නියන්
පාලම් ගොඩක් ඇත බැඳලා සේම වියන්
අතිනත අරන් බැන්දට ගිංතොට තැල්ල
පොඩි සන්දියේ නම් ඈ හරි දඟ මල්ල
තරණය කරන්නට ගලනා දිය රැල්ල
ඉදිවුනු දිගම පාලම මෙහි වක් වැල්ල
ඈ හා ඔට්ටු වී මං පිහිනලා තියේ
දැන් ගඟ පාලු වී මුත් කිඹුලන්ට බියේ
ඒ මතකයන් කිසිදා මතකයෙන් නොයේ
අහසේ හැඬුම් වාවනු බැරි තැනදි දරා
ඉතිරී ගලනවා ගංදිය ඉවුරු ඉරා
මිටි බිම් හෝදගෙන හැම සාරයම උරා
රුදු වී ගලා යයි මහ වැසි වසින තුරා
ඇඬුවා අහස දුක දියකර හලන්නට
තැලිලා හිටිය අප තව තව තලන්නට
ගිංගඟ ඇවිත් නෑගම් අප බලන්නට
ඉන්නට තැනක් නෑ දිය ගෙට ආ හින්දා
කන්නට දෙයක් නෑ කොටු වී හිටි හන්දා
පන්සල් පල්ලි වල තුටු පඬුරුද බන්දා
නොපෙනෙන දෙවියනුත් වැටි වැටිලා වැන්දා
එනමුත් බරවුනා දියකඳ ඇගෙ ගෙලට
දැන් ඇති වැස්ස දරනට බෑ පොඩි පැලට
ආයෙත් එපා වැසි දෙවියනි ගොන් ගලට
ඔන්න ඔය විදිහට තමයි ගිංගඟ හා ගිංගඟේ අතවරය ගැන කවිටික ලියැවුනේ. ගිං ගඟ අපිට ගොඩක් සමීපයි. ඒක අපිට වගේම රටටම සම්පතක්. ඒත් මෙහෙම දරුණු වෙනකොට තරහත් හිතෙනවා. ඒත් ගඟ හා බැඳුනු මතකය හරිම සුන්දරයි. ඉඳලා හිටලා කරදර කලාට එයා අපිට ආදරෙයි. අපිත් එයාට ආදරෙයි. එහෙනම් යාලුවනේ අදට ලිපිය අවසාන කරනවා. ආයෙත් දවසක කවියකින් හමුවෙමු.