දුරුතු සඳ
My own image
දුරුතු සඳ කියන්නේ ඕනෑම වසරක නැවුම් ආරම්භයක්. ගස් ගස් වැල් අතරින් අඳුරු රාත්‍රියක වසරේ මුල්ම වරට සඳ එලිය දකිනවා කියන්නෙ ඒක හරිම අපූරු අත්දැකීමක්. දුරුතු පොහොය හෙවත් ජනවාරි පොහොය කියන්නේ ශ්‍රී ලංකාවාසී බෞද්ධ අපිට බොහොම වැදගත් පොහොය දිනයක්. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය ඇතුළු බොහොමත් වැදගත් ශාසනික සිද්ධීන් රාශියක් මේ පෝය දවසේ සිද්ධ වෙලා තියෙනවා. ඒ ශ්‍රද්ධා සම්පන්න හැඟීමත් සමඟ සඳපායාගෙන එන හැන්දෑවේ මට සඳේ ඡායාරූපයක් ගන්න ඉඩක් ලැබුණා. ඒ එක්කම මගේ හිතේ හැංගිලා ඉන්න කවියා මට කියනවා කවියක් ලියන්නම කියලා. ඉතින් ඔන්න මම කවියක් ලියන්න උත්සාහ කලා. ඒක ලියවුනේ මෙහෙමයි. ඔබ සියලු දෙනාගේම රසාස්වාදය උදෙසා දුරුතු සඳ ලෙසින් මෙසේ පළ කරමි.
හිටියාට ගම් පියසෙ මතක ඇත පවුරු බැඳ
පෝදාට පුරුද්දට මල්තියා සමිඳු වැඳ
නෙතු අහසෙ වැදුනු කල රිද්දුවා දුරුතු සඳ
දෙවියන්ට වුව හැකිද නවතන්න හමන නල
ඒ සුවඳ සේම විත් යට ගියපු මතක කැල
නිදිකුම්බා හදවතක ඇල්ලුවා දරුණු නිල
ඇරඹුවේ ඇස් වලින් කී නිසාමයි ඔයා
දැලි රැවුල වත් නැතිව හදවතින් දුර ගියා
නොකියාම ඇයි දුන්නෙ වෙනකෙකුට හිත ලියා
අහම්බෙනි එකල මට මොහොතකුත් වුනෙ උදා
පෝදාට නුඹ දකින සතුටින්ම නෙත් විදා
බුදුන් පුදටම නොවේ පන්සලට හියෙ එදා
අඩ අඳුරෙ පහන් සිළු පෙන්නුවා සුමුදු වත
දුකක් බව දැන දැනත් පිනවීම දුවන සිත
එදා මට බැරිවුනා හලන්නට දැනුනු නෙත
අදත් බෑ බලන්නට බැල්මකින් වුව නපුරු
දැන දැනම බිම් කොටා නිසාවෙන් පෙර වැපිරු
නෙලනවා අඬ අඬා සැර වුනත් අද කපුරු
ප්‍රේමය කියන්නේ ඕනෑම හදවතක පිවිතුරුම හැඟීමක්. ඒ අතරින් ප්‍රථම ප්‍රේමය කියන්නේ ඕනෑම හිතක මතක සටහනක්. ඒ ආදරය හිමි වුනොත් ඒක ලොකු සතුටක්. ඒ වගේම අහිමිවීම දුකක්. ඒ අතීත මතකයන් පුංචිම සිදුවීමක් තුලින් වුවත් අලුත් වෙන්න පුලුවන්. මේ කවි කිහිපය එවැනි හැඟීමකින් තැවෙන තරුණයෙකුගේ සිතුවිලි රුවා දැක්වීමක්. සරල බසින් ලියා ඇති නිසා පැහැදිලි කිරීමක් අනවශ්‍ය යැයි සිතමි. නැවතත් රසවින්දනය සඳහා පාඨක ඔබට ආරාධනා කරමින් මම නවතිනවා. සුබ දවසක් ඔබ සැමට.!