For All the Good Adults With a Terrible Childhood!

in Steem Sri Lanka6 months ago

DC7E2040-1F06-4257-98ED-2FE1F5A8C9F2.jpeg

ඒ කුතුහලයද, ප්‍රීතියද, පුදුමයද සහිත උදෑසන ආවේය. ඇඳක් යටට බඩගා සොයාගත් බූල් (වූල් බෑන්ඩ්) බෑන්ඩය ගෙන කොණ්ඩය මලක් සේ ඉහළට සිටින සේ බැඳගත් කුඩා දැරිවිය මලක් සේ සිනාවීගෙන කණ්ණාඩිය ඉදිරිපිට සිටගෙන සිටියාය. නිසැකවම ඇය කොණ්ඩ මලක් බැඳ ඇත. එය අපූරුය. ඇය ඒ සිනාවෙන්ම තාත්තාගේ බයිසිකලය ඉදිර්පිටට දිව ගියාය. සියල්ලෝම එය ලස්සනයි කියනු ඇත.

ඔය මොකක්ද ඔය කරගෙන තියෙන්නෙ? ඔලුව උඩ පොල් ගහක් වගේ. ගලවනවා ගලවනවා! විරෝධයකට ඉඩක් නොතබාම තාත්තා එය ගලවා දැමුවේය. බරවුණු හදින් යුතුව ඇය බයිසිකලයට ගොඩ වුණාය. ඉස්කෝලෙ යන්නට බයිසිකලයට ගොඩවුණ අම්මා වත් ඇය බේරා නොගත්තාය. ඉන් පසු කිසිම කිසි දිනක ඇය කොණ්ඩ මල් බඳින්නට ගියේ නැත.

තාත්තාත් අම්මාත් වෙන අම්මලා තාත්තලා මෙන් ගුටි දුන්නේ නැත. එවැනි කතා ඇය අසා ඇත. නමුත් හදවත බොහෝ වාරයක් තලා දැම්මේය. ඇය තාත්තාට බොහෝ සේ බිය විය. නෑදෑයන් ද එහි ප්‍රයෝජනය ගෙන ඇය නරක වැඩක් කරන සෑම වාරයකම තාත්තාට කියනවා යැයි කියමින් ඇයව බිය වැද්දීය. නමුත් ළමයින් කිසි දාක නරක වැඩ කරන්නේ නැත. තාත්තාගේ අශෝබන රණ්ඩු, නරක ලෙස කරන බිය වැද්දීම් සහ සමච්චලයට කරන සිනහ වීම් ඇය වඩාත් අනාරක්ශිත පොඩිහිටියෙක් කළේය.

ගෙදර වගකීම සහ තාත්තාගෙ හිරිහැර මත අම්මාට ද බොහෝ සේ කේන්ති ආ අතර ඇය බලා සිටියත් අම්මාට ආදර වචන අමතක විය. ඒ වෙනුවට මට නපුරු විදියට කතා කරන්න එපා යැයි හඬා වැටෙන්නට ඇයට සිදු විය. අම්මා වත් ආදරය දැනෙන්නට දෙනු ඇතැයි ඇය ඇගේ භාශාවෙන් සිතා සිටියත් එය එසේ වූයේ නැත. අවදානය, සැලකිල්ල තේරුම් ගැනීම සහ අගය කිරීමට වෙනුවට නිතරම බිය, සැකය, අවිශ්වාසය අවමානය පිරි කුඩා ලෝකයක ඇය තනි විය.

උපන්දිනය දාට කුඩා සැරහුමක් සහිත චොකලට්ටුවක්, ලස්සන පාටැති බූල් බෑන්ඩයක්, සුවඳැති පැන්සලක් හෝ මකනයක්, ඇයගේ කොට්ටය යටින් හමුවුණ ඇතැයි ඇය බලාපොරොත්තුව සිටියාය. ඇය ඉතා හිමින් වැඩ කළ නිසා මැටි මෝලා කියමින් ටීචර් ඇයට දිනපතා ටොකු ඇන්න බව ඇය කඳුලු පිරි දෙනෙතින් දරාගත් නමුත් කිසි දිනක අම්මාට කියන්නට ගියේ නැත. අම්මා කිසි දිනක තේරුම් නොගනු ඇත.

හුණු කොට්ටය මසා ගෙන යාමේ වාරය එළඹි විට එයට ගෙදරින් බැනුම් අසන්නට වෙන නිසා ඇය තනිවම මේසයක් යටට රිංගා කාටත් හොරෙන් හුණු කොට්ටයක් මසන්නට ගොස් ඇඟිල්ලේ බොහෝ වාරයක් ඉදිකට්ට ඇනුණු අතර, ගුරුතුමියට කියන්නටම දෙයක් නැතිවුණ විට ඇය බැනුම් අසමින් බොරු බඩේ අමාරු ගන්නට පටන් ගත්තාය. ඇය නැති වූ විට එය වෙනකෙක් වෙත භාර වෙනු ඇත.

ටිකක් ලොකු වූ පසු ටොට්ටෝ චං ගේ අම්මාද කොබයාශි ගුරුතුමාද කියවා ගත් පසු එවැනි පුදුමාකාර වැඩිහිටියන්ද මේ ලෝකයේ සිටින බව ඇය දැනගත්තාය. ඇය තීරණයක් ගත්තාය!

ඇය හොඳ වැඩිහිටියෙකු වනු ඇත. විශාල සිහින සහිත ඒ කුඩා මිනිසුන්ගේ සිහින වලට ඇය ගරු කරනු ඇත. තාත්තෙක් විසින් හෝ අම්මෙක් විසින් නපුරු වූ පොඩිත්තෙකුගේ අහිංසක සිහිනයක් ඇය බෑගයේ දමාගෙන යනු ඇත. සුවඳැති මකනයක්, තුඩ මාරු කරනු ලබන පැන්සලයක්, සුපර් මෑන් සහිත නිල්
පාට බෑගයක් හෝ සබන් බෝල පුම්බනයක්! අවමානය, නොසලකා හැරීම සහ බිය වැද්දීම වෙනුවට ඇය ආදරය තෝරා ගනු ඇති අතර කිසිවෙකුගේ කොණ්ඩ මලක් හිසට සමතලා නොකරනු ඇත.

ඔහෝ මේකයි ඔයාගෙ අලුත්ම කොණ්ඩ මෝස්තරේ! මොන තරම් ලස්සන බෝනික්කියෙක්ද ඔයා? කියමින් පුංචිත්තියක්ගේ මොළකැටි හදවත සිහිනය සැබෑ වීමේ ප්‍රහර්ශයෙන් පුරවා දමනු ඇත!

Photo Credit: Pinterest

Coin Marketplace

STEEM 0.18
TRX 0.14
JST 0.029
BTC 57956.22
ETH 3126.99
USDT 1.00
SBD 2.45