සංචරණී..!
හිමිවීමකට වඩා අහිමිවීමකිකන් කෙළවර වුණු ආදර කතා මේ ලෝකෙ ඇති තරම් තියෙනවා. මට හිතෙනවා ඒක එහෙම වුණ එක හොඳයි කියලා. දුයිශෙන්ව දාලා ගමෙන් ගිය අල්තීනායි ආයෙමත් දුයිශෙන් ගෙ ලෝකෙට කිසිම දවසක ආවෙ නෑ. දුයිශෙන් ගෙ හිතේ ආදරයක් තිබුණා නම් ඒ ආදරය නොබිඳී තියෙන් ඇති. විද්යා යි සඳරැසුයි ආයෙ මුණ ගැහෙන්නෙ අවුරුදු ගාණක් වෙන වෙන මාවත් වල ඇවිදන් ගිහින් ආයෙමත් හැරෙන්න බැරි තැනකට ආවට පස්සෙ. සඳරැස් විද්යා ට දුන්න ලේන්සුව එදත් එහෙමම විද්යා පොතක් ඇතුළෙන් එළියට ගන්නවා. ඒ අවසන් දර්ශනය ඇතුළෙ නොකියා කියන දේ අපි දන්නවා.
දවසක මං ආදරෙත්, ආදරේ මාවත් මරාගෙන මැරුණා කියල සමනළ සංධ්වනියෙ වාගීශ ඇඬුවට ඇත්තටම ඒ ආදරේ මැරුණෙ නෑ. වසර ගණනක් ගිහිල්ලත් එයා අර ලියුමෙ උන්න වඩා වැඩි වයසක ගැහැණියව හෙව්වෙ ඒකයි.
කොයිතරම් ලස්සනට ගලාගෙන ගියත් නොරිකො ටත් දෙවොන්දරා සං ව අහිමි වෙලා ගියේ සදහටමයි. හිමි වෙලත් අහිමි වෙලා යන එක දුකක් තමයි. ඒත් හිමි වුණා නම්? ආදරේ මැරෙන්නත් තිබුණා. ඒ නිසා සංචරණි ට කිසිදාක දැනගන්න නොලැබුණ ආදරය මැයි මාර ගහක තියලා සමිධ නොඑන්නම ගිය එක හොඳයි!
සංචරණී...
නුඹ යන්න ගිය එක හොඳයි
යළි නොආ එක ඒකටත් වැඩියෙන්
හොඳටෝම හොඳයි...!
ආවනම් හෙම
ආදරේ නාමෙන් එක ගෙදරකට
යන්න තිබුණා
ළමයෙක් දෙන්නෙක් හදාගෙන
සංසාරෙ දිග් ගස්සන්න තිබුණා
කොට්ට උරවල මේස රෙදි වල
හොටු කඳුලු තැවරෙන්න තිබුණා
ව්යංජන වල බත් ඇතිලි වල
ලුණු රසත් වැඩිවෙන්න තිබුණා
මැයි මාර මල් වුණත්
ඔබට නොපෙනී යන්න තිවුණා
තුත්තිරි මල් මිටි බොහෝ ගානක්
ඔබෙ අතින් ගිලිහෙන්න තිබුණා
දුරින් දුටු ඔබ නෙමෙයි මේ දැන්
දවා හලු කරලන්න තිබුණා
සතුට හීනය වෙච්චි දවසුත්
ඉබේටම තව එන්න තිබුණා
ඒත් දැන්..
මැයි මාර මල් වලින් හෙටත් ලොව පිරේවි
මල් මිටක් තුත්තිරි ඔබේ අත මත තියේවී
කඳු වැටිද ගහ කොළ ද නෙත් මතම හිඳීවී
කිසිදාක නොකියවුණු මේ විසල් ආදරය
හෙටත් මෙතනම හිඳීවී...!
Meka akka liyapu ekakda? Harima lassanai.
ඔව්. Thank you nangii ❤️