කොවිඩ් සහ අපි
කිසිවක් නොලියා සති තුනක් ගෙවී ගිහින්.ඒ තරම් කාලයක් ගෙවුණු ඉක්මන එක අතකට පුදුමයි.ඔයාල ලිව්ව පල කිරීම් කියවන්නත් පසුගිය දිනවල බැරි වුනා.
අද නම් මොනවා හරි ලියන්න ඕනෙමයි කියලා හිතුවා. මේ ලියන වෙලාව රෑ 9.52. අද වෙනදට වඩා කලින් නිදහසක් ලැබුණා.
වෙනදට සතියෙ දවස්වල හවස වැඩ ඇරිල ආවම තේ හදල, රෑට උයල, ගෙදර හදන බළු පැටියාටයි ගේට්ටුවෙන් එපිට ඉඳල ඉඩක් ලැබුණු ගමන් මිදුලට දුවගෙන එන බළු සුරතලීටයි මොනව හරි කන්න දීලා, මාත් කෑම කාලා, ඉව්ව භාජන අස් කරලා, සෝදලා, පොඩ්ඩ ඇත්නම් මැලවිලා යන නොදා බැරි මල්වලට විතරක්වත් වතුර ටිකකුත් දාලා, ගේ යන්තම් අතුගාලා එකී මෙකී නොකී වැඩ ඉවර කරල නිදහසක් කියලා දෙයක් යාන්තම් ලබද්දි රෑ 10.30වත් වෙනවා.සමහරදාට රෑට පිටින් කෑම ගේනවා. ඒක සහනයක්.
ඉපදීම දුකක් කියල බුදු බණේ කියන්නෙ නිකන්යැ.විශේෂයෙන් ගැහැණු ආත්මයක් ලැබීම.😁
අද රාත්රි අසල්වැසි හිතවත් පවුලකටත් එක්ක කෑම හදල 7 ට විතර එයාලට ගිහින් දුන්නා.ඒ ගෙදර පොඩි අය ඉන්න නිසා කලින්ම දුන්නෙ. ඒ පවුලෙ අම්මට මුලින් කොවිඩ් හැදුනා. එයා වෙනම කාමරයක තියලා එයාට සාත්තු කරගෙන දරුවො බලාගෙන හිටිය තාත්තටත් ඊළඟට බෝ වුනා. දැන් එයාල ලොකු බබාව වෙනම කාමරයක තියල පොඩ්ඩව ළඟ තියාගෙන ඉන්නවා.මේ අපි කෑම දුන් තුන් වෙනි ගෙදර.
මාසෙකට විතර කලින් මගේ ස්වාමියා රෝගියෙක් වුනාම අපිත් නිරෝධායනය වුණා.ඒක කාලෙකට පස්සෙ හම්බ වුනු අනපේක්ෂිත අනිවාර්ය නිවාඩුවක්. හැබැයි ගෙදර අනිත් අය කාටවත් බෝ වුනේ නෑ.එයා ලඟට නොයා මාස්ක් දාගෙන බේරෙන්න පුළුවන් වුනා. එයා මුල් දවස් දෙකෙන් පස්සෙ හීටරයක්,උණුවතුර බෝතලයක් සහ ස්ටීමර් එකක් කාමරයේ තියා ගත් නිසා මට පහසු වුනා.
දැන් ඉස්සර වගේ නෙවේ.සීග්රයෙන් ඔමික්රෝන් බෝවෙන නිසා දන්නා හඳුනන බොහෝ දෙනෙක් රෝගයේ ගොදුරු බවට පත් වෙලා. බුදුන් වහන්සේ කිසා ගෝතමීට කිසිවකු නොමල ගෙයකින් අබ ගෙනෙන්නට දෙසූ කතාව මතක් වෙනවා. දැන් පවුලේ කාටවත් කොවිඩ් නොවැලඳුනු ගෙයක් හොයන්න බැරි තරම්.කාර්යාලයේ මං වැඩ කරන අංශයේ ඉන්න 9න් 4ක් රෝගීන් වී ඉවරයි.
මතක ද මුල් කාලෙ PHI මහත්වරු ලෙඩ්ඩු පස්සෙන් අල්ලන්න දිව්ව හැටි ? දැන් එයාලව අල්ල ගන්න ලෙඩ්ඩුන්ට දුවන්න වෙලා. ඒ අය ලෙඩ්ඩුන්ව තඹ සතේකට ගණන් ගන්නෙත් නෑ.පැත්ත පලාතෙ එන්නෙත් නෑ. නෝටිස් ගහන්නෙත් නෑ. කෝල් කලාම උත්තර දෙන්නත් දවස් දෙකක්වත් යනවා.
ලෙඩ්ඩුන්ගෙ තොරතුරු ලියන ලොකු පොතේ සමහරුන්ගෙ විස්තර ලියන්නෙත් නෑ. අපටත් තව යාලුවෙකුටත් එහෙම වුනා. නිරෝධායන සහතික ගන්නත් සෑහෙන රස්තියාදුවක් වෙන්න ඕනෙ. අන්තිමට එතැන වැඩ කරන කෙනෙක් මාර්ගෙන් යන්තම් ඒක ගත්තෙත්. ප්රකාශ වෙන ලෙඩ්ඩු ගානට වඩා කොහොමත් ඇත්ත ප්රමාණය වැඩියි.
පසු කොවිඩ් ආබාධ සහිත රෝගීන් ගාණත් එන්න එන්නම ඉහල යනවා.මගේ ස්වාමියාත් ඊට අයත්. එයාටත් නිදිමත, මහන්සිය ඇතුළු තව අමාරුකම් තියෙනවා. IDH රෝහලේ වෙනම සායනයක් ඒ රෝගීන් සඳහා පටන් අරන් තියෙනවා කියලා ආරංචි වුනා.
කොවිඩ් කියන කළු වලාකුලේ පුංචි රිදී රේඛාත් නැතිවා නෙවෙයි. ඒ අර කලින් මං කිව්වා වගේ අසල්වැසියන් කෑම බීම ගෙනත් දී රැක බලා ගැනීම නිසා ඇතිවන සහනදායි සුරක්ෂිත හැඟීම.මිත්ර සංධාන නිසා අපි තනි වී නෑ කියා දැනෙන ගතිය. අන්න ඒක ලොකු ශක්තියක්.
ඒ ඇරුණාම ඉතින් ලෙඩ දුක් මැද වුණත් අපේ සදාකාලික දුවන ජීවිතයට ගෙදර ටික දවසක් රැඳෙන්නට ලැබෙන අනගි අවස්ථාව. ඒකත් ලේසියෙන් නොලැබෙන දෙයක්.
eka nm aththa kiyala therenawa dakina dewal walin.
ekagai. godak ayata rassawal nisa gedara aya ekka katha karanna wath welawak nane.
ඇත්ත.🙄😪
ඇත්ත.🙄😪
ඔමික්රෝන් හරිම ඉක්මනට පැතිරෙනවා. මං හිතන්නෙ vccine එක හින්දා ඒක බරපතල වෙන එක වැළකිලා තියෙනවා. කෝකටත් පරිස්ස්ම හොඳයි
ඉක්මනට සුව අතට හැරෙන්න කියලා හිතනවා.
ස්තුතියි අනේ.
ඇත්තටම කොවිඩ් ගැන තියෙන බය මිනිස්සුන්ට දැන් නැති වෙලා කියලයි මට නම් හිතෙන්නේ. ඒ තරමටම දැන් හැම තැනම කොවිඩ්. ඉස්සර වගේ නිරෝධායන නීති, සෞඛ්ය මාර්ගෝපදේශ මුකුත් නෑ දැන්. මිනිස්සු වගකීම් විරහිතව හැසිරෙනවා. 😷😷😷
ඔව්, මේ පාර කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ.
me dawaswala virus una kiyala pathirenne omicrone thamai kiyala kiyanawa.
එහෙම ද ? අනේ මන්දා. සමහරුන්ට කොන්දෙ අමාරු හැදිලා පටන් ගන්නෙ.
ඔව්..ඔව්..අතුරු ආබාද ගොඩයි
Covid - SL in a nutshell.....
Dan covid samanyakaranaya wela wage tamai wadakaranne kattiya.. mul kale tibuna parissam wena dewal mukut dan attet na.
ඒක නම් ඇත්ත.ඉස්සර කොච්චර බය ද ? දැන් නිකම් උණ හෙම්බිරිස්සාවක් ගාණට වැටිල.