දෙව් ලෝකෙට තල්ලු කලා නුබ
source
සංසාරේ කලකිරිලා දන් දුන්නේ නොවෙයි දුවේ උඹ
වෙස්සන්තර කවි අහලා පාරමිතා සෙව්වෙත් නෑ මම
පපුව ඉරන ආදරයේ අම්මා කමට ද්‍රෝහී උනා නොව
කඳුළින් කම්බුල් ඉඳලා දෙව් ලෝකෙට තල්ලු කළා නුබ
සරා වෙහෙසිලා සසරේ සැපක් පතා මා වෙත ආ කල
සුරංගනාවක් වෙන්නයි දුක්කොක්කෙන් හැලුවේ දූ මිණ
මුව සිහිවී ගොම පැදුරේ කිරි හිරවී හඬා හැපෙන විට
මරා නොදැම්මා විතරයි අසරණීව මිරිකී තනිකම
කානු ඉසේ පල් කළලේ කසිප්පු සහ බීඩි ගඳයි පැල
නුඹ හිටියා නම් මැණිකේ මංවාගෙම අගුරු වෙලා අද
හැදූ වැඩූ දෙවියන් ළඟ රැජිණ වගේ හිටපන් වස්තුව
දුක් වෙන්නේ මොකටද නුඹ පෙකිනි වැලේ උරුමය හොය හොය
ඕලන්දේන් නැව් නැගලා එන්න එපා එන්න එපා නුඹ
වෙනස් නොකර තබා ගනින් හිතේ ඇඳිලා ඇති අම්මා රුව
රෝහල් කඩදායි ඉරලා මං එහෙනම් වෙන් වෙනවා දුව
සුරංගනාවක් වගේ ලෝකෙ එක්ක හිනාවෙන්න දුව
ඉතින් හැමෝම පරිස්සමෙන් ඇති කියලා හිතනවා.අද ලියන්නනේ මොකක්ද කියලා මුලින්ම කියවපු ගමන් ඔයාට තේරෙන්න ඇති.ඉතින් කවිය මුලින් ලියන්නත් හේතුවක් තියෙනවා. මම සාමාන්‍යයෙන් වැඩිපුරම කියවල තියෙන්නේ අම්මා ගැන ලියවුන කවි.ඉතින් ඒ කියවපු කවි වලින් මගේ හිතට වැඩිපුරම දැනුණු කවිය තමයි මේක.කවිය ලියලා තියෙන්නෙ ලසන්ත අතුකෝරළ කවියා.
මේ කවියෙ විශේෂත්වය තමයි අම්මා ගාව තියෙන පරාර්ථකාමී ආදරය ඉතා දැඩිව දැනෙන කවියක් වීම.කවියෙ වස්තු බීජය වෙන්නේ අපේ රටේ මවක්, දුප්පත්කම නිසා තමන්ගේ දරුවා ජාතක උන ගමන් විදේශ රටක දෙමව්පිය යුවළකට දරුවා බාර දෙනවා හදා වඩා ගැනීමට.අම්මා ඒකට හේතුව කවිය පුරාවට රසිකයන්ගේ දෑස් වලට කදුලු උනන අයුරකට ලියන්න සමත් වෙනව. සමහරවිට ඔයාලත් ලඟදි දකින්න ඇති එහෙම ළමයි අවුරුදු විස්සකට විසි පහකට පස්සේ ඇවිල්ලා තියෙනවා තමන් ජාතක කරපු මව සොයාගෙන.ඉතින් ඔවුන්ට පුළුවන් හැඟීම් බෙදාගන්න විතරයි.මේ කවියේ ඒ තැනත් තදින් ස්පර්ශ කරනව.නුඹේ අම්මා ගැන හිතේ ඇදිල තියෙන රූපය වෙනස් කරගන්න එපා කියලා මාව සොයාගෙන ඇවිල්ලා.මට ගොඩක්ම දැනෙන පද පේලිය තමයි "දුක් වෙන්නේ මොකටද නුබ පෙකිනි වැලේ උරුමය සොය සොය"පද පේලිය. කොහොම හරි මම කියවලා තියෙන කවි වලින් හිතට ගොඩක්ම දැනුනු සමාජ යථාර්ථය ගැන ලියවුණු ලස්සන කවියක් තමයි මේක.ඉතින් මේ වගේ ලස්සන කවියකින් නැවතත් හමුවෙමු.