බින්න විවාහය

WhatsApp Image 2023-07-23 at 20.57.27.jpg
Canva

කොහොමද යාලුවනේ. ඔයාලා ඔක්කොම හොඳින් ඇති කියලා හිතනවා. අදත් මම සාහිත්‍යය සම්බන්ධ ලිපියක් එක්ක ඔයාලව හම්බවෙන්න හිතුවා. මං අද පැහැදිලි කරන්න යන්නේ ශ්‍රී ලාංකික විවාහ සම්ප්‍රදායේ එක් සුවිශේෂී විවාහ ක්‍රමයක් වන බින්න විවාහය හා බැඳුනු සාහිත්‍යය ගැන. එහෙනම් මං මුලින්ම පැහැදිලි කරන්නම් බින්න විවාහය කියන්නෙ මොකක්ද කියලා.

බින්න විවාහය කියන්නෙ විවාහයෙන් පසුව සැමියාද බිරිඳගේ නිවසේ විසීමයි. සිංහල ව්‍යවහාරයේ එය "බින්න බහිනවා" යනුවෙන් හැඳින්වෙනවා. මෙම විවාහ ක්‍රමයේ වාසි හා අවාසි බොහොමයක් තියෙනවා. මෙහිදී ස්වාමිපුරුෂයට ඔවුන් වෙනුවෙන් නවාතැනක් අවශ්‍ය නොවන නිසා එය ඔවුන්ගේ ආර්ථිකයට එය ශක්තියක්. ඒ වගේම නැන්දම්මා, මාමන්ඩිය, නෑනා , මස්සිනා සමඟ එක නිවසක ජීවත් වන නිසා පවුලේ එකිනෙකා අතර අන්‍යෝන්‍ය සබැඳියාව වැඩි වෙනවා. එකිනෙකා තේරුම් ගනිමින් සුහදව ජීවත් විය හැකිනම් මෙය සාර්ථක විවාහ ක්‍රමයක් වේ.

ඒ වගේම මෙම විවාහ ක්‍රමයේ අවාසිද බොහොමයක් තියෙනවා. මෙහිදී විවාහක යුවළගේ පෞද්ගලිකත්වය සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඔවුන්ගේ ස්වාධීනත්වයට මෙහිදී බලපෑම් ඇතිවෙන්න පුලුවන්. මෙම විවාහ ක්‍රමයේ දී පිරිමියාට බොහෝ දුරට තම බිරිඳට යටත් වී ජීවත් වීමට සිදු වෙනවා. එම නිසා ශ්‍රී ලංකාවේ තිබෙන පීතෘ මූලික සමාජ ක්‍රමයේ මෙම විවාහ ක්‍රමය අවඥාවට ලක්වන අවස්ථා සුලබයි.

බින්න විවාහය සිදුකර ගන්නවා නම් හුළු අත්තක්, තල් අත්තක් හා සැරයටියක් සූදානමින් තබා ගතයුතු බවට ප්‍රසිද්ධ කියමනක් ජනවහරේ තිබෙනවා. එයින් අදහස් වන්නේ බිරිඳගේ පාර්ශවයෙන් ඕනෑම අවස්ථාවක නිවසෙන් පිටවන ලෙස පැවසූවොත් පිරිමියා පිටව යා යුතු නිසාවෙනි. එය වැසි අවස්ථාවක වුව හොත් තල් අත්ත ද, රාත්‍රී කාලයක වුවහොත් හුළු අත්තද, ගිලන් අවස්ථාවක වුවහොත් හැරමිටිය ද භාවිතා කළ හැකි නිෝ එයින් අපට පැහැදිලි වන්නේ බින්න විවාහයේ ඇති අවිනිශ්චිතභාවයයි. ඉතින් මේ කියමන ගැන කවි කිහිපයක් ලියන්න හිතුනා. මේ තියෙන්නේ ඒ කවි වලින් කිහිපයක්. එන්න රස විඳිමු.

සැමියා බිරිඳගේ නිවසේ වෙසෙන්නට
ගිය විට වටෙන් ඇරඹෙයි මෙය ඇසෙන්නට
බාධා නොමැති නම් එක බත පැසෙන්නට
මේ කල හොඳම දේ බින්නම බසින්නට

බින්න බහින පිරිමින් හට එදා සිටී
පඬියන් දීපු ඔවදන් නම් අදත් වටී
පහලින් තියෙන කවි කියවා බොහොම කෙටී
ඔලුවට ගනිව් බිරියගෙ තැන ඉන්න හැටී

නෝනගේ ගෙදර සිදු වුනොතින් නවතින්න
කවදා හරිම ඇරඹෙයි කුල කියවන්න
වැස්සක වුණත් කීවොත් පලයන් යන්න
තල් කොළයකුත් සූදානම් කරගන්න

වින්දට රසය එම දිවියම මරා තලූ
කවදා හරිම පරවෙනවා මලුත් නෙලූ
මහ රෑ යන්න කිව්වොත් අරගෙනම පොලූ
සූදානමින් තියපන් අත්තකුත් හුළු

ලෙඩදුක් හැදී ඇවිදින්නට බැරි දිනක
යන්නට කියා තිබුනොත් නෝනගෙ අනක
වාරුව අරන් යන්නට ඕනම දිනක
හැරමිටියකුත් තියපන් අරගෙන කොනක

කට වචනයට කීවට උන් එහෙම එදා
හැබැහින් සිදුවෙමින් පවතියි නිතර මෙදා
එබැවින් හිතට අරගෙන මෙය ඉවත නොදා
බැහැපන් බින්න කොල්ලනි එක ගෙයක් බෙදා

ඔන්න ඔය විදිහට තමයි මගේ කවි පෙල ඉවර වුනේ. බින්න විවාහය ගැන කතා කරද්දි මට තවත් එක් කවියක් මතක් වෙනවා. මේක ජන සාහිත්‍යයේ එන ප්‍රසිද්ධ කවියක්. මාත් මේක අහපු කවියක්. සමහර විට ඔයාලත් අහලා ඇති. මේක බින්න විවාහය සිදු කරගන්න පැමිනි තරුනයෙක් විසින් කියපු කවියක්.

මාමගෙ හිතේ මා මරවා වැඩ ගන්න
නැන්දගෙ හිතේ නැන්දගෙ දුව මට දෙන්න
නංගිගෙ හිතේ අක්කා දී බේරෙන්න
මගේ හිතේ මේ දෙන්නම අරගන්න

උපුටා ගැනීම ජන සාහිත්‍යයෙනි

සිංහල සාහිත්‍යය කියන්නේ රස ගුහාවක්. කවිය කියන්නේ එහි අපූරුම අංගයක්. ඕනම වෙලාවක නව නලු රස මවන්න පුලුවන් දෙයක්. ඉතින් යාලුවනේ මං මගේ හාස්‍ය රසයෙන් යුතු ලිපිය අවසාන කරන්නයි යන්නේ. ඔයාලා මේක කියවලා රසයක් විඳින්න ඇති කියලා හිතනවා. ආයෙත් දවසක කවියකින් මුනගැහෙමු.

ස්තූතියි!

Coin Marketplace

STEEM 0.20
TRX 0.14
JST 0.030
BTC 66745.34
ETH 3326.92
USDT 1.00
SBD 2.71