නිවන්සුව විරුවනි!

depositphotos_211598974-stock-photo-airplane-with-engine-on-fire.jpg

Image source

පුවතක්- ගුවන් හමුදා ප්‍රහාරයකින් ත්‍රස්තවාදී කඳවුරු රැසක් විනාශ වේ. 2009 අවුරුද්දට කලින් මේ අපි හුඟක් සතුටු වෙච්ච ප්‍රවෘත්තියක්. මොකද එදා ත්‍රස්තවාදීන් අපේ රටට කරපු විනාශය නිසා. එදා ඔවුන් අපේ රට වනසද්දි ඔවුන් එක්ක සටනට ගියේ අපේ වීරෝදාර රණවිරුවන්. ඔවුන් එදා එක අඩියක් ඉදිරියට තියද්දි රූපවාහිනිය ඉදිරියේ ඉඳන් අපි ගොඩක් සතුටු වුනා. ඉතින් මෙහෙම එදා සතුටු වුනු අපට 2023.08.07 දිනය කියන්නෙ ඉතාම දුක්බර දවසක්. මොකද මෙදින ගුවන්‍ යානා අනතුරකින් අපට ගුවන් හමුදා නිළධාරීන් දෙපලක් අහිමි උනා. ගුවන් හමුදා ගුවන් නියමුවන්ගේ තිඹිරිගෙය විදිහට සැලකෙන චීන වරාය ගුවන් හමුදා කඳවුරේ තමයි මේ අවාසනාවන්ත සිද්ධිය සිදුවුනේ. ඉතින් මේ දවස් ශ්‍රී ලංකාවටම මලගෙයක් වගේ. මේ දුක්බර මොහොතේ මේ කවිපෙල ඔවුන්ට උපහාර ලෙස ලියා තබමි. නිවන්සුව විරුවනි.

හිත් පිත් නැති යකඩ ගොඩක උගසට දිවි තියලා
ගුවනට නැගි විරුවනි එයි හද ගිනි දැල් ලියලා
විරු දෑතට දෙවි පිහිටයි ඇතුවට හැම කියලා
දෙවියන්වත් නැත අද මේ අවනඩු ගැන හොයලා

සිරිලක් මව සුරකින්නට ඉහලින් වැට බැඳලා
කළ මෙහෙවර මහමෙර මෙනි උඩුගුවනේ ඉඳලා
රට වෙනුවෙන් නිල ඇඳුමේ අපමණ බර විඳලා
මරු හා ගියෙ විරුවනි නුඹ දාහක් සිත් බිඳලා

හිත් පිත් නැති යකඩ ගොඩක් ගුවනෙදි මොර දෙද්දී
අසරණ වෙන්නැති දැන දැන මරණය ළං වෙද්දී
විරුවනි නුඹ නිහඬව අද කර උඩ යළි එද්දී
දාහක් නෙත් තෙත්වුනි නුඹ වෙනුවෙන් හද ඉද්දී

පයිලට් වෙමි පොඩි සන්දියෙ කිව්වට අත උස්සා
බැරි හින්දම ඒ හීනෙන් පහලට අපි බැස්සා
දිනලත් නුඹ ඒ හීනය බාදක පසු බස්සා
දෛවය අද ඉස්සරවුනි නුඹ දෙපලට ගස්සා

කොපමණ දුක් විඳින්නැද්ද ඉංජිනේරුතුමෙක් වෙන්න
නිලඇඳුමේ බර එක්කලා ඒ හීනෙට ඇවිද යන්න
ලෝකෙට වැඩ තියෙන එවුන් හනි හනිකට උදුර ගන්න
ඇයි එතරම් දරුණු වුනේ දෛවය බෑ හිතා ගන්න

උරය පලා ලේ දුන්නලු මමත් එදා වුනෙමි පුදුම
එක ජීවිතයක් වෙනුවෙනි මැයක් උනේ චුල්ල පදුම
සිරි ලංකාවම වෙනුවෙන් ඇඟලාගෙන කැමා ඇඳුම
හුස්ම හෙලපු විරුවනි මන් ලියමි නුඹේ නමට පිදුම

උතුම් නිවන ලැබී දිනක සංසාරයෙ සැනසේවා
යලි උපතක් හිමිවුනොතින් අපි අතරම ඉපැදේවා
කිසිමදාක අකල් මරන මේ සසරේ නොම වේවා
නුඹ වාගේ විරු දරුවන් ලක් මෑනිට බිහිවේවා

ඔයාලට මතක ඇති පුංචිකාලෙ අපෙන් අනාගතේ කවුරු වෙන්නද කැමති ඇහුවම, උත්තර වුනේ ඩොක්ටර් කෙනෙක්, ඉන්ජිනේරුවෙක්, පයිලට් කෙනෙක් වෙන එක. ඒත් ටිකක් ලොකු වෙද්දි තේරෙනවා ඒවා ගොඩක් අමාරු හීන කියලා. ඒත් මේ අපේ කතානායකයො දෙන්නම මේ හීන හැබෑ කරගත්තු ටික දෙනා අතර හිටියා. එක් අයෙක් පයිලට් කෙනෙක්, අනිත් කෙනා ගුවන්‍ යානා ඉංජිනේරුවරයෙක්. අපිට සිවිල් සමාජයේ මේ තනතුරු ලබාගන්න ටිකක් හරි ලේසියි. ඒත් නිල ඇඳුමක් ඇඳගෙන ඒ හීනෙට යනවා කියන්නේ ඒක ගොඩක් අමරු දෙයක්. ඔවුන් හමුදාවට එකතු වෙන්නෙ ජීවිතයම උගස් කරලා. එහෙම ආපු ඔවුන් රට වෙනුවෙන් දෙයක් කලා. ඒත් අද ඔවුන් යන්නම ගිහින්. ඔබ ගැන අද රටක්ම දුක් වෙනවා. දුකින් වුවත් අවසාන වශයෙන් ඔබ දෙපලට නිවන්සුව ප්‍රාර්ථනා කරනවා. මේ පැදිපෙල ඔබට උපහාරයක්ම වේවා.!!!

ස්තූතියි!

Coin Marketplace

STEEM 0.17
TRX 0.14
JST 0.028
BTC 59378.58
ETH 2646.25
USDT 1.00
SBD 2.46