තාත්තෙක් නොවු තාත්තේ...!
එකෝමත් එක කාලෙකදි අපේ ගෙදර උන්නු සීයා තමයි මගෙ ඇස් ළඟ හිටිය සුන්දරම තාත්තා. මං පුංචි වුණත් මට ඒක තේරුණා. ඒ තාත්තගෙ ආදරේ ලොකු කම මට තේරුණා. සීයගෙ අන්තිමම ගෑණු ළමයා ඒ කියන්නෙ මගෙ නැන්දා උපතින්ම යම් තරමකම ආබාධිතයි. මැරෙන දවස වෙනකම්ම සියා එයාට අනෙක් අයට වගෙම ආදරය කළා. සමහරක් විට ඊට චුට්ටක් වැඩියෙන්. හැමෝම එයාව වෙනස් කොට සලකනකොට සීයා එයාව උසස් කොට සැලකුවා.
ජීවිතේ අන්තිමම දශකයේදීත් එයා කඩපු පොල් අරගෙන විකුණන්න කඩේ ගියා.ඒ එනකොට ගේන කිඹුලා බනිස් වල තිබුණ සදාකාලික ආදරය සීයා යනකොට අරගෙන ගියා. අපි දෙන්න එකතු වෙලා පොත් කියෙව්වා. අපේ ගමේ විත්ති කියවන ගමන් එයා ඇස් වලින් කඳුලු පනිනකම් හිනා වුණා. ඉස්කෝලෙ නොගිහින් ගෙදර උන්න දාට තේ එකක් හදලා ළඟට ගෙනත් දීලා, මං තරහ වෙලා අඬනකොට මාව සනසපු නළවපු සීයව පහළින් තියෙන කවිය දැක්කම මට මතක් වුණා. තාත්තෙක් ගැන කියනකොට මට මුලින්ම මතක් වෙන්නෙ සීයව.
-තාත්තා-
දරුවෙක් වගේ හදාගන
තාත්තෙක් ඉන්නවා මට
ආදරය පවා බිඳිත්තක්
අඩු කරන්නට බිය වෙන
මතු බුදු වෙන්නට සියවරක්
මා ඉදිරියේ නිති හිතන්නට වෙන
ගලිවර් පියවරු අබියස
ලිලිපුට්ටෙක්ව සැමදා සැඟවෙන
ආච්චිගේ කෝපි හොරකම් කොට
වැහිබර සන්ධ්යාව රසබර කරන
ඉදහිට එබී දොර රෙද්දෙන්
මව් අණ සිහිල් කර දොඩන
අප අතර ඇති බියකරු නිහැඬියා
බොරු හිනාවැලකින් පුපුරවන
රූපාවාහිනි පැයෙන් පැය පුවත
බිඩියක් එක්ක නිතර නොවරදින
ඉරිදා පත්තරයක අලුත් රස්සාවක්
"තාත්තේ" කියන කොට නිති හොයන
පිතු පාදං නොකිව්වාට
කිසිදා දොසක් නොකියන
තාත්තෙක් වෙන්න උගන්වන
තාත්තෙක් ඉන්නවා ගෙදර
Status දමා හද පුරා
Wish කරන්නට බැරි වුණ
- අයන්ත යුනේෂ් ප්රනාන්දු-
තමන්ගෙ දරුවො වෙනුවෙන් අප්රමාණව දුක් විඳින, ගස් වගේ ආදරේ බෙදන, හොඳ මිනිහෙක් වෙයන් පුතේ කියලා මුලු හදවතින්ම කියන, ඒක ඇත්තටම අදහස් කරන හැම සුන්දර තාත්තා කෙනෙක්ගෙම හීන හැබෑ වෙන්න ඕනෙ..!
ඒ ඔක්කෝටම පස්සෙ මේ ලෝකෙ හොඳ තාත්තලා වගෙම නරක තාත්තලාත් ඉන්න බව අපි දැනගෙන ඉන්න ඕනෙ. තව එකම එක නරක තාත්තෙක් වත් මේ ලෝකෙට බිහි නොවෙන්න වග බලාගන්න ඕනෙ..
සුබ පියවරුන්ගෙ දිනයක් වේවා..!