මාව වටින්නෙ - එච්චරද අම්මට ??
source
අද ලියන්න යන්නෙ ටිකක් සංවේදී ඒ වගේම ඇත්ත කතාවක්. අපිට හොදම දේ දෙන්න තමයි අම්මටයි තාත්තටයි දෙන්නටම ඕන. ඒකට එයාල ඕන කැපකිරීමක් කරන්න ලෑස්ති වෙලා තමයි ඉන්නෙ. ඕනම අම්ම කෙනෙක් සල්ලි ඇතා හෝ නැතා ලමයි වෙනුවෙන් සෑහෙන්න දුක් විදිනව. ඇය දුප්පත් වෙනව කියන්නෙ ඒ දුක දෙගුන වෙනව. හිතන්නකො අපිට පොඩි හරි ලෙඩක් හැදුනොත් සෑහෙන්න කලබල වෙලා බෙහෙත් අරගෙනත් ඒ ටික බිල හොද වෙනකන් බලන් ඉන්න අම්මල , ඔවුන් ලෙඩ උනාම ඒ ගැන ගානක්වත් නැතුව ඉන්නව නේද? බෙහෙත් ගන්නෙ ගොඩක් කලාතුරකින් නැත්නම් පස්පංගුව ටිකක් බීල ඉන්නව. ඒ තමයි අම්මල. කිසි ගානක් නෑ වගේ ගෙදර වැඩ ටිකත් වෙනසක් වෙන්නෙ නැතුවම කරන්නෙ ලෙඩත් ඇගේ තියාගෙනමයි. ඉතින් එච්චර කැපකිරීමක් කරන්න පුලුවන් කරන්න ඉන්නෙත් අම්ම විතරයි. මේ නිසදැසේ කියන්නෙත් ඒ වගේම කතාවක්.
තාත්තගෙ දොළොස් අවුරුද්දෙ දානෙත්
හිරිපොදේම පංසලට අරං ගෑටුව අම්මා...
ඉර එක්ක දළු කඩලා - හඳ එක්ක රෙදි මහලා
ටවුමෙ ඉස්කෝලෙට මාව යැව්වා...
මෙඩිකල් කෝලීජියට තේරුනා කියපු දවසෙ
ඇට ගැහුනු පපුවට තුරුල් කරන් මාව ඉම්බා...
නලාවට-කෝට් එකට-බෝඩිං ගාස්තු වලට
ලියලා යවන පමාවට සල්ලි කොළ වැටුනා...
"රස්සාව ගත්තු ගමන් කන-කර බේරනවා"
ඇස් පොත් අස්සෙ නිදිකිරන තත්පර වල හිත මොරගෑවා...
එහා ගෙදර මාමගෙ කෝල් එකට;
ඇනටොමි ප්‍රැක්ටිකල් අස්සෙ බොඩිය ඇරදාලා දිව්වා...
බාල ලී පෙට්ටියක් මැද කැහැටුවට පිපිලා තිබුනත්;
අම්මගෙ මූනෙ හිනා මල් සුවඳ පුස් බිත්ති පරයා දැනුනා...
එක වකුගඩුවක් නරක් වුන පලියට මිනිහෙක් මැරෙනවද?
මරණ පරීක්ෂණේ කරපු ඩොක්ටට මම ගිගිරුවා...
"අනෙක අවුරුදු හයකට කලින් විකුණලා"
බරට සුසුමක් අත ඇරපු ඔහු මිමිණුවා...